විග්නේස්වරන් කියන්නෙ හිටපු විනිශ්චයකාරයෙක්. ඒ වගේ ම පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාශලම්ගෙ ඥාති මුණුබුරෙක්. විග්නේස්වරන් දෙමළ වීම නිසා මේ රටේ නැතිවුණු පදවිය මොකක් ද? අග්‍රවිනිශ්චයකාර පදවිය ද? විරුද්ධපක්‍ෂ නායකකම ද? ඒ පදවි අද දරන්නෙ දෙමළ ජනවාර්ගිකයන්. ඇමතිකම් දරණ දෙමළ ජනවාර්ගිකයන් කවදත් හිටියා. විග්නේස්වරන්ට ඒ පදවි නොලැබුණෙ දෙමළකම නිසා නොවෙයි. ඒත් ඔහුට නොලැබෙන පදවි දෙකක් තියෙනවා. ඒ අගමැතිකම හා ජකනාධිපතිකම. ඒත් මේ රටේ රජකම හිමිවෙච්ච කාලිංගයො පාණ්ඩ්‍යයො විතරක් නොවෙයි වඩිගයොත් හිටියා. ඒ කවුරුත් විතරක් නොවෙයි 1815 දි රට භාරගත්ත ඉංගිරිසිනුත් මෙරට සිංහල බුද්ධාගමේ විශේෂත්වයත් සිංහල සිරිතුත් පිළිගත්තා. විග්නේස්වරන් බෞද්ධ වෙන්න ඕන නැහැ. 1815 ගිවිසුමේ තිබුණු කොන්දේසි රකින බව පොරොන්දු වෙනවා නම් ජනාධිපතිවුනත් වෙන්න පුළුවන්. ඒත් විග්නේස්වරන් ඒකට කැමති වෙන්නෙ නැහැ. ඔහු තම සීයා කෙනකු වූ පොන්නම්බලම් අරුණාශලම් අවුරුදු සියයකට පමණ ඉහත හින්දු මහා සභාව පිහිටු වූ ආකාරයට දෙමළ මහා සභාවක් පිහිටුවා ගෙන. සීයාත් මුණුබුරාත් තේරුම් නොගත් නොගන්න කාරණය තමයි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂය කියන එක. ඒක කසිකබල් මාක්ස්වාදීන්ට, මාක්ස්වාදය කටගාගත්තවුනට, බොරු සමාජවාදීන්ට තේරෙන්නෙත් නැහැ.
රාමනාදන්ලා අරුණාශලම්ලා වගේ ම විග්නේස්වරනුත් දෙමළ ජාතිවාදියෙක්. සිංහල බෞද්ධ සංස්කෘතියෙ විශේෂත්වය නොපිළිගන්නා ඕනැම අයකු සිංහල විරෝධී ජාතිවාදියකු වෙනවා. එ ජා ප දෙමළ ජාතික සංධානය මෛත්‍රිපාල කණ්ඩායම, ජ වි පෙ, සමසමාජ, කොමියුනිස්ට්, පෙරටුගාමී ආදී සියල්ලන් ම සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදීන්. විග්නේස්වරන් කෙනකු අද බිහිවෙලා ඉන්නෙ දහතුන්වැනි සංශෝධනය හා පළාත්සභා පනත නිසා. 2012 දි පළාත්සභාවල බලතල නැතිකිරීමට පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඇවිත් තිබෙනවා. ඒකට වාසුදේව, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, රාජිත ආදීන් විරුද්ධ වෙලා තිබෙනවා. මුළු රටේ ම ඡන්ද විසිපන්දාහක් නැති මොවුන්ට කැබිනට් මණ්ඩලය යට වුනේ මොකද කියන එක හිතාගන්න අමාරුයි. මේ පිළිබඳ විස්තර කවුරුන් හරි අදවත් හෙළිකරනවා නම් හොඳයි.
මහින්ද පරාද කරන්න ඩිව් මහත් උත්සාහයක් අරගෙන තිබෙන බවත් කියැවෙනවා. රාජිතත් එසේමයි. ඒත් අදත් ඩිව් ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්නවා. නමුත් පාද යාත්‍රාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ඇතැම් අවස්ථාවල අතීතයේත් එ ජා පක්‍ෂයට හෝ ඔවුන්ගේ පූර්වගාමින්ට හෝ සහාය දී තිබෙනවා. අද ලාල් විජේනායක ජයම්පති වික්‍රමරත්න වැනි සමසමාජ පාක්‍ෂිකයනුත් මහින්දට හා සිංහලයන්ට විරුද්ධව යහපාලන නඩයට සහාය දෙනවා. 1972 ව්‍යවස්ථාවේ බුද්ධාගමට තැන දෙන වගන්තිය කොල්වින් ආර් ද සිල්වා ඇතුළත් කෙළේ බණ්ඩාරනායක මැතිණියගේ අවශ්‍යතාවට. එය 1815 ගිවිසුමෙත් ගැමුණු රජුගේ අලිඛිත ව්‍යවස්ථාවේත් තිබුණු බව ලාල් විජේනායකලාට අමතක වෙනවා. අවුරුදු දෙදහසකට වැඩි කාලයක එය ක්‍රියාත්මක නොවුනේ 1848 සිට 1972 දක්වා අවුරුදු එකසිය විසිහතරක් පමණයි.
නමුත් 1848න් පසූුවත් සුද්දන්ගෙ කාලෙදිත් එහි බලපෑම තිබුනා. 1815 ගිවිසුම කිසිවකුට ලෙහෙසියෙන් ඉවත දාන්න බැහැ. මෙරට බෞද්ධ සිද්ධස්ථාන හැරෙන්න වෙනත් ආගමික ස්ථානයක් ඉදිකිරීමේ දී ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතු බවට නීතියක් ඉංගිරිසින් දහනවවැනි සියවසේ අග පැනෙවූවා. මේ නීතිය අදටත් වලංගුයි. විනිසුරුුවකුව සිටි විග්නේස්වරන් ඒක නොදන්නවා වෙන්න බැහැ. ඔහු කියනවා බුදුපිළිම වහන්සේ ඉදිකරන විට ඔවුන්ගෙන් අහන්නේ නැතැයි කියලා. ඔහුගෙන් අහන්නෙ මොන කෙංගෙඩියට ද? හින්දු කෝවිලක්, මුස්ලිම් දේවස්ථානයක්, ක්‍රිස්තියානි දේවස්ථානයක් ඉදිකරන විට නම් ජනාධිපතිගෙන් අවසර ගත යුතුයි. ඒත් ඒක කෙරෙන්නේ නැහැ. සුද්දන්ගෙ කාලෙ තිබුන නීතිවත් අද ක්‍රියාත්මක නොවන්නෙ සිංහල නායකයන්ගෙ නිවටකම නිසා.
විග්නේස්වරන් දෙමළ ජනයා එක්විය යුතු යැයි කියනවා. ඒ සිහලයන්ට, බෞද්ධයන්ට හා හමුදාවට විරුද්ධව බව පැහැදිලියි. අද ධර්මපාලතුමා හිටියා නම් සිංහලයන් නැගිටිව් කී විට ජාතිවාදියකු ලෙස නම්කර අත්අඩංගුට ගැනීමට ඉඩ තිබෙනවා. ඒත් විග්නේස්වරන් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔහු පිටුපස එංගලන්තය සිටිනවා. එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් විසින් මෙහෙයවෙන විසුරුණු දෙමළ ජනයා ඉන්නවා. ඔහුගේ ශක්තිය ඇත්තේ පිටරටයි. විග්නේස්වරන් හා සම්බන්ධන් අතර වෙනස විග්නේස්වරන් පිටුපස ඉංගිරිසින් සිටීමත්, සම්බන්ධන් පිටුපස ඉන්දියාව සිටීමත්. සුමන්තිරන් මෙතෝදිස්ත බැතිමතකු ලෙස මෙහි දී ද්විත්ව රංගනයක යෙදෙනවා.
විග්නේස්වරන් හමුදාව උතුරෙන් ඉවත්කරගන්නා ලෙස ඉල්ලනවා. සිංහලයන් හමුදාව තමන් ඉන්න ප්‍රදේශවලින් ඉවත්කරන්නැයි කිවුවොත් හමුදාව නවත්වන්නෙ ඉන්දියාවෙ ද නැත්නම් මාලදිවයිනේ ද? හමුදා කඳවුරක් සාලාව ප්‍රදේශයේ තිබීම නිසා වූ හානිය ගැන අදටත් වන්දි ගෙවලා නැහැ. ඒ විතරක් නොවෙයි ඒ පිපිරීම කළ එකක් ද වුනු එකක් ද කියාවත් අද වන තුරු හරියට දන්නේ නැහැ. හමුදාවේ බුද්ධි අංශය දුර්වල කරද්දි රණවිරුවන් සිරගත කරද්දි මේ පිපිරීම ගැන නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි. විග්නේස්වරන් වැන්නන් ඉන්නතාක් උතුරේ හමුදා ශක්තිය තව තවත් තර කළ යුතුයි. හමුදාවට දෙමළ ජනයාගේ ඉඩම් අරගෙන තිබේ නම් කල යුත්තේ ඒවාට වන්දි ගෙවීමයි. කොහොමටත් හමුදාවට උතුරේ සිංහලයන්ගේ ඉඩම් ගන්න බැහැ. ඒ එහි සිංහලයන්ට ඉඩම් නැති නිසා. සිංහලයන්ට ඉඩම් ගන්න දෙන්නෙ නැති නිසා.
රාමනාදන්ලා ඇරඹි දෙමළ ජාතිවාදී දේශපාලනය ප්‍රභාකරන් දක්වා විකාශය වූවා. එය නන්දිකඩාල් කලපුවේ දී මේජර් කමල් ගුණරත්නගේ පනස්තුන්වැනි සේනාංකයෙන් අවසාන වශයෙන් පරාජය කෙරුණා. එය එක් සේනාංකයක වැඩක් නොවෙයි. ත්‍රිවිධ හමුදාවේත් සිවිල් අරාක්‍ෂක බලකායේත් ජයග්‍රහණයක්. දෙරණ කාලෝගේ ජූරිය මගින් වැඩක් නැති ඉංගිරිසි ගැත්තන්ටත් සම්මාන දෙන අතර ත්‍රිවිධ හමුදාවටත් සම්මානයක් දී තිබීම ගැන සතුටු වෙනවා. නන්දිකඩාල් කලපුවේ ලත් ජයග්‍රහණය නීති පොතට ඇතුල්නොවීමේ පාපය අප අද ගෙවනවා. එය නීති පොතට ඇතුල්කිරීමට 2012 දී දැරු උත්සාහය කඩාකප්පල් කළ අය විග්නේස්වරන් යළි ප්‍රභාකරන් කෙනකු බිහිකිරීමට දරණ උත්සාහය ගැන වග කිවයුතුයි.
බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු පනස්හතකට පස්සෙ මේ ලිපිය ලිවීමට සිදුවීම ගැන පනස්හයේ දරුවන් ලජ්ජා විය යුතුයි.
No comments:
Post a Comment