වැස්ස
අහසේ වලාකුළු හා තරගයක යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
දියවල බිදී දෙන රාවය දෙකට බෙදී
හබලේ ගැබුරු හඩ සමග ම ගොඩට වදී
පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී අඩා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා
වැහි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ දිදී
මිදුලේ රළ බැඳෙයි පෙන බුබුළු බිඳී බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව රැදී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ මදි
වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු ගිල
දිය වල වමාරන්නා මෙනි, පියසි තල
මිදුලේ පුංචි ගංගාවල් ගලන කල
පාසල් ළමුන් පාවෙති සිය සිහින වල
නැති වල ගොඩැලි මතුකොට ගල් කැට බේරා
පටු මාවතේ දුහුවිලි, කොළ රොඩු සුරා
දෙපසෙහි සැදි අගල් සුළි නැගී නැගී හාරා
පිබුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය දාරා
ගස් වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින්
කඳු ගැට වසා විහිදෙයි වැහිගිලිය ගොඩින්
නිකලෙස් හැගීමක් ඩැහැගත් වන ම ගොඩින්
හදවත පියඹා යයි, වෙල් කුඹුරු උඩින්
පොළොවට වැටෙන හැම වැහි බිඳුවක ම පහේ
ගැබ්වුණ සිසිල එයි, ඊතල පරිදි මෙහේ
ළා අතු රිකිලි, රුක්ගොමු, ලියමඩුලු ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු ඇහේ
හැම වැහි වලාව ම ඉගිලිගෙන එද්දී
මට එයි ජීවමය ගී රසයක් ඇද්දී
මුළු ජීවිතය සතු සිහිකටයුතු සිද්දී
සිදු වුන සේ හැගෙයි මහා වැසි පවතිද්දී
සුළගට විදුලියට ගිගිරුම් හැඩ ගගා
ගැඹුරු ම නිසල බව පිටුතලය කොට නාග
රැය සීතලත් අඳුරත් සමගම කුර ගගා
සැන්දෑවට කලින් මේ ගමට විය ළගා
ගී දේවියට කැප කල දෙවොලකට සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි මම
- එච්.එම්.කුඩලිගම -
😊😊
ReplyDeleteකෝ මේකෙ පලවෙනි කවිය
ReplyDeleteගැබිනියකගෙ තන පුඩුවල පැහැය උරා
කියන කවිය