Thursday, March 29, 2012

විහඟ ආදරය -පී.බී.අල්විස් පෙරේරා

විහඟ ආදරය
පී.බී.අල්විස්.පෙරේරා මහතා කොළඹ යුගයේ දෙවන කවි පරපුරට අයත් දක්ෂ කවියෙකි.සොබාදහම,ඉරුණු කොඩිය,උක්දඬුදුන්න,රන්තලිය යනු මොහුගේ පදය සංග්‍රහ කිහිපයකි.ඔහු ළමා පද්‍ය රචනා පිළිබඳ ව ද ප්‍රසිද්ධියක් දැරූ කවියෙකි."විහඟ ආදරය" එතුමාගේ නිර්මාණයකි.


පොඩි තුඩු දොඩම් කටු මෙනි හී විදිල්ලෙකි
නෙත් අබ වගෙයි පා පොල් කෙඳි තොටිල්ලකි
පෙඳ වට පියාපත් දේදුනු වළල්ලකි
හේ පැණි කුරුල්ලෙකි ඕ පැණි කිරිල්ලකි

දුව පැන ඉගිලි ගම මුළුල්ලෙහි
යන්තම් පැපොල් පාළුවක් වැනි කැදැල්ලෙහි
රෑ ගත කරන නිතරම එක තුරුල්ලෙහි
මොහු කල් ගෙවති පෙම් ලොව මිණි කැදැල්ලෙහි

කඳු මත ගැඹුරු මිටියාවත ලදලු වැවී
මායා සිහින නිල පාටින් සුවඳ කැවි
පිබිදෙති වසන්තය දැක ඕ උමතු නොවී
ගී ගැයුවාය සිය සැමියා ළගට වේවි

දහවල විඩා පත් වී නිල පඳුරු පිට 
සිය රසවතා සමගින් කල ගෙවන විට
ඕ තටු අතර නො තබා මල් කැකුළු හොට
සඟවන්නි ය සැමියා අත්තටුව යට

ගැබ් ගත් පසු ව ඈ හැඟුමෙන් යුතුව එක
දෙදෙනා මාරුවට විදිමින් ගැහැට නෙක
බිජුවට බිඳෙන තුරු එය උණුසුමට රැක
අරුණෝදයක දී දරුවා මුහුණ දැක


ඌ පෙඳ වැඩි නිදහස් රස විඳින තුරා
පණුවන් සොයා පියඹා වෙල්එලිය පුරා
සති කිහිපයක් මුළු දහවල වෙහෙස දාරා
දාරක සෙනෙහෙ මතු වී සිය සැපත මරා


පොඩි සුරතලා වෙත දී හැකි සුවය සොයා
හැම උදයක ම හිරු රැස් දැක විරුද ගයා
වැජඹෙන සඳෙහි ජෝඩුව නැඟ තරුණ පියා
පැටවා ගෙයින් පිට වී ලෝකයට ගියා


මුදු පෙඳ නැගී පැටවා ලොකු වී විසුව
නික්මී අලුත් ලෝකය වෙත ගිය පසුව
නැවතත් කුරුළු ජෝඩුව සුරතල් මුසුව
කල් ගත කළහ අරඹා පෙම් කසු කුසුව


- පී.බී.අල්විස් පෙරේරා-
(උපුටා ගැනීම - 10 ශ්‍රේණිය සාහිත්‍ය පෙළ පොත)

No comments:

Post a Comment