ක්‍රි. පූ. 543 - 505 - තම්මැන්නා නුවර - පාලන කාලය අවු. 38 යි.
විජය කුමරු සත් සියයක් පිරිවර සමඟ ක්‍රි. පූ. 543 වර්ෂයේ දී ලංකාවේ දැනට පුත්තලම නමින් හැඳින්වෙන ප්‍රදේශය සමීපයේ වෙරළට ගොඩබැස්සෝ ය. ඒ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ ය.
අධික වෙහෙස නිසා කලන්ත භාවයට පත් විජය කුමරු ඇතුළු පිරිස වෙරළේ අත් බිම ගසා බොහෝ වේළාවක් ගිමන් හැරියහ. ඔවුන්ගේ අත්ලතල තඹවන් වූ හෙයින් ඒ ගොඩබසින ලද නුවරට තම්මැන්නා යන නාමය යෙද වූ බවත්, සිංහයා මැරූ සිංහබාහු රජු හා සම්බන්ධ ඇති මේ කුමරා හා පිරිස සිංහල යන නමින් ප්‍රකට වූ බව මහාවංශයේ සඳහන් වේ.
විජය කුමරු පිළිබඳ මහාවංශ කතා ප්‍රවෘත්තිය ඇරඹෙන්නේ ඊසාන දිග ඉන්දියාවෙනි. වංග හෙවත් බෙංගාලයේ රජතුමාට රූමත් හිතුවක්කාර දියණියක් වූවාය. වැඩිවියට පත් වූ පසු සිංහයෙකු සමඟ සරණවෙතැයි අනාවැකියක් පැවති හෙයින් ඇය ඉතා ප්‍රවේශමෙන් රැකබලා ගනු ලැබුවා ය. එසේ වූවද කුමරිය රහසිගතව මාලිගයෙන් පලා ගොස් වයඹ රට බලායන තවලමක් සමඟ ගමන් ගත්තාය. තවලම ලාටරට වනාන්තරයකට ළඟා වූ විට එක් සිංහ රාජයෙක් තවලමට පහර දී කුමරිය රැගෙන පලා ගියේය.
සිංහයා නිසා සුප්පා දේවිය දරු දෙදෙනෙක් ලබුවාය. පුත් කුමරු වූ සිංහබාහු වැඩිවියට පැමිණි පසු සිය මව හා නැගණිය ද කැටුව වනාන්තරයෙන් පලා යයි. වියෝ දුකින් උමතු වන සිංහයා ගම් නියම් ගම් වනසන්ට පටන් ගනියි. අවසානයේ සිංහබාහු සිය නැගණිය විවාහ කර ගනී. ලංකාවේ ආදිම සිංහල රජු - විජය ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා වේ.